ලෙස්ටර්ගේ අවරගිර

 


දේශීය සිනමාවේ පුරෝගාමීන් අතර ප්‍රමුඛයකු ලෙස අපට ලෙස්ටර් ජේම්ස් පීරිස් හැඳින්වීමට පුළුවන.එතෙක් චිත්‍රාගාරය තුළ සිර කොට තිබූ සිනමා කැමරාව  ඉන් නිදහස් කර එළිමහනට ගෙන එන ලද්දේ ඔහු විසිනි.ඒ 1956දී ය.සිනමාකරණය ලද එම  නිදහසේ ප්‍රතිඵලය වූයේ 'රේඛාව' නම් වූ නැවුම් සිනමා කෘතියයි.තව දුරටත් එසේ නිදහස් මග ඔස්සේ ගමන් කළ ලෙස්ටර් 1963 දී සිංහල සිනමාවට 'ගම්පෙරළිය' දායාද කළේ ය .එය දේශීය යථාර්ථවාදී සිනමාවේ ප්‍රථම සන්ධිස්ථානය විය.සමාජ පෙරළියක මුඛ්‍ය ප්‍රවණතා ප්‍රතිබිම්භනය කළ එම සිනමා කෘතිය ළදරු දේශීය සිනමාවේ වර්ධනීය අදියරක සමාරම්භය සටහන් කළේය.

මෙසේ රේඛාව සහ ගම්පෙරළිය ඔස්සේ ඇරඹුණු ලෙස්ටර්ගේ සිනමා දිවිය මධ්‍යම පාන්තික පටු රාමුව තුළ සිරවීම නිසා ප්‍රබුද්ධ රසිකයන් ගේ සියලු අපේක්ෂා සුන් කරමින් අවාසනාවන්ත පසුබෑමකට ලක්විය.ඉහළ මධ්‍යම පාන්තික පරිසරයක සැරිසරන ලෙස්ටර් මෙරට ජන ජීවිතයේ ස්පන්දනය හා රිද්මයත්, පොදුජන සමාජමය බලවේගයත් අන්තර් ග්‍රහණය කර ගැනීමට අපොහොසත් වීම,ඔහු හරසුන් බොල් සිනමා ආරක් තුළ සිරගත කිරීමට මූලික වූ බැව් කීම වඩාත් සත්‍යයට සමීප ය .ගම්පෙරළියට පසුකාලීනව  ඔහු විසින් නිර්මාණය කරන ලද දෙලොවක් අතර ,අක්කර පහ ,දෑස නිසා ,අහසින් පොළවට, සහ වීර පුරන් අප්පු වැනි සිනමා කෘතීන් ඊට සාධක වෙයි .

ගම්පෙරළියෙන් දසක දෙකකට පසු එම ප්‍රබන්ධය අයත් තුන් ඈදුනු නව කතාවේ දෙවැන්න වූ 'කලියුගය' පදනම් කොටගෙන ලෙස්ටර් නිර්මාණය කළ එනමින්ම යුතු සිනමා කෘතිය ඔහුගේ ආරම්භක සිනමා රීතිය නැවත ඔහු වෙත පැමිණ ඇති බව කියා පාන්නක් විය.එය ඔහුගේ සිනමාවේ දෙවැනි වර්ධනීය අවස්ථාවයි .එහෙත් එම තුන් ඈදුනු නව කතාවේ අවසාන කොටස වන 'යුගාන්තය' නිර්මාණය කිරීමේදී කිරීමේ දී නැවත වරක් ඔහු කලියුගයට වඩා පසුබෑමක් ප්‍රදර්ශනය කළේ ය.යුගාන්තයේන් වසර ගණනාවකට පසුව ලෙස්ටර් ජේම්ස් පීරිස් නැමැති ඒ ප්‍රවීණ නිර්මාණකරුවා අප හමුවට පැමිණෙන්නේ ජී බී සේනානායකගේ අවරගිර නවකතාව සිනමා කෘතියක් වශයෙන් නිර්මාණය කරමිනි.


ජන ජීවිතය හා බද්ධ වූ සැබෑ අත්දැකීම් පිපාසයෙන් පීඩිත වූ ලෙස්ටර් වැනි සිනමාකරුවන්ට නවකතා මත යැපීමට සිදුවීම සිදු වීම පුදුමයක් නො වේ .අවරගිර සිනමා කෘතිය මගින් මධ්‍යම පාන්තික පවුල් සංස්ථාව තුළ ඇති වන ගැටුම් හා චෛතසික ආවේගයන්,පරම්පරා දෙකක නියෝජනයන් ඔස්සේ විග්‍රහ කෙරේ .පවුල් සමාජය තුළ ඇතිවන විභේදනයන් හිත් බිඳී යාම් සහ පරස්පරයක් මෙන්ම දෙමාපියන්ගේ අපේක්ෂා හා ඔවුන්ගේ දූ දරුවන්ගේ චර්යාවන් අතර සංඝට්ටනය වීම් අවරගිර තුළින් අවධානයට ලක්වේ.අවරගිර තිර රචනය තුළින් මැනවින් විද්‍යාමාන වන සංසිද්ධියක් වන්නේ පවුලේ ගැටුම් වලට ලක්වන චරිත සම්බන්ධව කෙරෙන සියුම් විශ්ලේෂණයයි.මෙහිදී විවිධ මානසික ඝට්ටනයන් තුළින් එම චරිතයන් ගැඹුරින් විග්‍රහ කිරීමේ වෑයමක් ප්‍රකටව පෙනේ.'අවරගිර' සිනමා කෘතිය තුළ එහි විශ්වාසනීයත්වය සුළු වශයෙන් බිඳ වැටීමට හේතු වන සිද්ධීන් කීපයක් තිබුණත් සමස්තයක් වශයෙන් තිර රචනයේ දායකත්වය පැසසුම් ලදයුතුය.

චිත්‍රපටය තුළ සංකේත භාවිතය මෙන්ම ඇතැම් රූප රාමු යොදා ගෙන ඇති ආකාරය තුළින් ද ලෙස්ටර් ගේ අනන්‍යතාවය ඉතා පැහැදිලිව ප්‍රදර්ශනය වෙයි.ඇතැම් අවස්ථාවක මෙම ප්‍රවණතාවන් අවර ගිරට අවරගිර ට අහිතකර ලෙස බලපාන බව ද කිව හැකි ය.අවරගිරට ජීවය දෙන චරිතවල නළු නිළින්ගෙන් බහුතරය තම වගකීම් ඉතා මැනවින් ඉටු කර තිබෙන බව පෙනේ. වසන්ති චතුරානි ,ජෝ අබේවික්‍රම, අයිරාංගනී සේරසිංහ මෙහිදී විශිෂ්ට රංගනයක යෙදෙති. 




සිනමා සංගීතයත්, කැමරාකරණයත්, සංස්කරණයත් අවරගිර තුළ සමබරතාවය රැක ගැනීමට සමත්ව ඇත.සමස්තයක් වශයෙන් අවරගිර තුළදී පවුල් සමාජයේ ඇතිවන ගැටුම් හා ඉන් ඇතිවන කම්පනයන් රොමෑන්තික පසුබිමක නිරූපණය කෙරෙන බව පැවසිය හැකිය .සිනමා රූප රාමු තුලින් ද රොමැන්තික නැඹුරුව තවදුරටත් තීව්‍ර වෙයි .කෙසේ වෙතත්  ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ අනිකුත් නිර්මාණයන් සමග සසඳන විට අවරගිර චිත්‍රපටය ද යම්කිසි සාර්ථකත්වයක් ලබා ඇති බව සඳහන් කළ හැක . 

Comments

Post a Comment

Popular posts from this blog

විජය හා කුවේණි කතා පුවතෙන් සමාජයට සන්නිවේදය කෙරෙන යථාර්ථය

ජනමාධ්‍ය විසින් ගිලගත් ළමා මනස

නව නළු රසය