අප්සරාවක් නොවෙමි

සීගිරිය ගැන කතා කරද්දී අපට කතා නොකරම බැරි මාතෘකාවක් වන්නේ සීගිරි අප්සරාවයි.සීගිරි අප්සරාව පිළිබඳ මගේ සවන ගැටුණු සුන්දර මෙන්ම අර්ථවත්  ගීතාවලියක් ලෙස "අපේ පැදුරෙන් " ගීතය හඳුන්වන්න  පුළුවනි.මහින්ද ප්‍රසාද් මස්ඉඹුල මහතා විසින් මෙහි ගී පද රචනය සිදුකර ඇති අතර මේ සඳහා සංගීතයෙන් දායක වී ඇත්තේ දර්ශන රුවන් දිසානායක මහතා වේ.මෙම ගීතය මියුරු හඬින් ගායනා කරනු ලබන්නේ සමන් ලෙනින් මහතා විසිනි. තම සෙවනින් මිදී අප්සරාවක් ලෙස සීගිරි බලකොටුව වෙත යන තම දියණිය පිළිබඳ පියෙකු දක්වන අදහස් පියාගේ දෘෂ්ටිකෝණයෙන් මෙම ගීතය තුළින් ඉදිරිපත් කරයි .

         පියාගේ දෘෂ්ටිකෝණයෙන් ලියැවුණු මෙම ගීතය ඇසූ මම එය සීගිරි අප්සරාවගේ  දෘෂ්ටිකෝණයට අනුව දකිමින් සීගිරි  අප්සරාවගේ කතාව  මෙතැන්  සිට ඔබට ආත්ම භාෂණයක් ලෙස  නිර්මාණය  කර ගෙන එමි.විශ්වාසයි ඔබට මැවේවි මේ කතාවේ චිත්‍රයක් .


  (සීගිරි  බිතුසිතුවමක් තුළින් එළියට එන සුන්දර  කාන්තාවක් මෙතැන් පටන් ඔබට කතා කරයි.)

අවුරුදු සිය දහස් ගාණක් මේ චිත්‍රයක් අස්සෙ හිර වෙලා ඉඳලා මට දැන් ඇති වෙලා ඒකයි මම ටිකක් මෙතනින්  එළියට  ආවේ.

හුඟක්  උන් මෙතනින් යද්දී,                            පට්ට ලස්සන චිත්‍රයක්  නේද? මොනවා උනත් ඇඳපු  එකා ඇඳලා තියෙනවා නිකන් දැක්ක ගමන් පිස්සු හැදෙන්න .සිරාවටම මේ ගෑණු මේ තරම් ලස්සනට ෆුල් ආතල් එකේ ඉන්න ඇති නේද?                                                                             කියන ගමන් මිනිස්සු කී දෙනෙක් මෙතනින් එහාට මෙහාට යන්න ඇතිද.ඒ හැමෝම වර්ණනා කළේ මගෙ ලස්සන. 

ඒවගෙන් වැඩක් නෑ.මං මෙහෙට එන්න ඉස්සර හිටියේ අර ඈත පේන පුංචි  ගමේ පුංචි ගෙදරක.අම්මයි,අප්පච්චී,නංගී,මමයි.ගෙදර හුරතලී නංගි වුණාට අප්පච්චී වැඩිපුරම  ආදරේ කළේ මට.

දවසක් එයා ආවා අපේ පුංචි ගමට.එයා ගැන අහලා තිබුණට හරිහැටි එයාව දැකලා තිබුණේ නැති නිසා මට එයාව බලන්න තිබුනේ පුදූම ආසාවක්.ඉතින් එදා එයාව බලන්න තිබුණු ආසාවට මම එයා එන පාර දෙපැත්තේ හිටපු සෙනඟ අස්සෙන් එබිලා එයා දිහා බැලුවා.

අප්පච්චී  මගේ අතින් ඇදලා මාව පිටිපස්සට කරගද්දිම මම දැක්කා එයත් මගේ දිහා අමුතුම හැඟීමකින් බලන් ඉන්නවා.                                     ඒ බැල්ම මට කීවේ එයා මාව අරන් යන්න ආවා කියලා.දෙයියනේ ඒ කඩවසම් පෙණුම දැක්ක ගමන් අනේ මාව අරන් යන්න කියලා කෑගහන්න හිතුනත්,අප්පච්චිගෙ අතට හිරවෙලා මම සද්ද නොකර හිටියා.

ටික වෙලාවකින් එයා මගේ අප්පච්චිට කතා කළා.පස්සේ අප්පච්චී  මගේ ළඟට ආවත් මගේ මූණ දිහා හැරිලා බැලුවෙ නෑ.අප්පච්චි බිම බලාගෙනම කීවේ "ලොකු දුවව අපට දෙන්න වෙනවා" කියලා විතරයි.

ඒ වෙලාවෙම එයා මාව එයාගේ සුරපුරයට එක්කගෙන ආවා.එතැනට යද්දීම මට  දැනුණු ඒ හැඟීම....  මම අර දුප්පත් පැල්පතේ විඳපු කටුක ජීවිතේට තිත තියන්න කාලය හරි කියලා මට දැනුනා. වැඩකාරයො ,මුරකාරයෝ ගොඩක් මැද සැපට ජීවත් වෙන්න වාසනාවක් මටත් ලැබුනා එහෙනම්. එයා මාව එයාගෙ සුරපුරයට එක්ක ආව ඒ දවස තමයි එයාව මට තවත් ළඟින්ම දැනුන දවස.පහන් එළියෙන් රන් කඳක් වගේ එයා මගේ ළඟට ආවා.එදා මුලු රෑම මම එයාගෙන් විඳපු ඒ ආදරේ මට අද වගේ මතකයි .

ඒත් එදා තමා එයා මගේ ලඟට ආව අන්තිම දවසත්.එයාට ඕන වුණේ මාව එකම එක දවසකට විතරයි.එයාට එයාගේ  සුරපුරේ තව ගෑණු ඕනි තරම් හිටියා .එයාට ඕනි වුණේ කොයි ගෑණිව ද එයා ඒ හැම ගෑණිම එයාගේ ලඟට ගත්තා .ඒත් ඒ හැම ගෑණිටම වුණේ මට වුණ දේම තමයි.දෙයියනේ තමන්ගේ මිනිහා වෙන ගෑණියෙක් දිහා හැරිලා බැලුවත් ඒක දුකක් කියලා මුලු ගෑණු  සංහතියම දන්නවා.ඉතිං මම මගේ දුක කෝම ඉවසන්න ඇතිද.😔😔😔                                                               ඒ විතරක්ද අන්තිමට මට මගේ නිරුවත චිත්‍රයකට  ඇඳෙනකල් ඉවසන් ඉන්න වුණා.කී දෙනෙක් අදටත් මගේ නිරුවත දිහා බලාගෙන මාව අතගාගෙන මෙතනින් යනවද.මට ඒ හැම වාරයක් ගානෙම දැනෙන්නේ මහ ලොකු පිළිකුලක්.

අඩුම තරමේ ගෑනියෙක් විදිහට සම්පූර්ණ වෙන්න මට පුංචි දරු පැටියෙක් වත් හිටියානම්.අම්ම කෙනෙක් වෙන්නවත් මට වාසනාවක් නැති  වුණා.මාත් ආසයි මගේ නංගිට වගේ ලස්සන දරු පැටියෙක් මටත් හිටියා නම්,ළඟට වෙලා ආදරේ දෙන මිනිහෙක් හිටියා නම්,ඒත් මට ලබුනේ සැප සම්පත් විතරයි.

කාශ්‍යප ඔයා හදපු මේ සුරපුරය සුරපුරයක් තමයි.ඔව්  මේ සීගිරිය සුරපුරයක් තමයි .ඒ ඔයාට විතරයි.මේක ඔයගේ විනෝද උයන.ඔයා විනෝද වුණා,ඔයා සතුටු වුණා,ඔයා ජීවිතේ වින්දා.ඒත් ඒ අතරේ හිතේ පිච්චෙන  වේදනාවෙන් මම විඳෙව්වා.

අවුරුදු සිය දහස් ගානක් තිස්සෙ හැමෝම එන්නෙ කාශ්‍යප හදපු මේ සීගිරිය බලන්න නේ .ලෝක පුදුම නිර්මාණයක් කියලා ප්‍රශංසා කරලා යන්නනේ.කාශ්‍යප වර්ණනා කරලා මගේ චිත්‍රය ළඟට ඇවිත් මාව අතගාලා උඹලත් සතුටු වෙලා ගියා නේද?මාව අතගාපු උඹලා ඇත්තටම අතගෑවේ මගේ ශරීරය විතරයි.උඹලා කාටවත් බැරි වුණා මගේ හදවත අතගාලා මගේ දුක අඳුනගන්න.

කාශ්‍යප රජතුමණි මම නුඹට වෛර කරන් නෑ.ඒත් මම මගේ රූපයට වෛර කරනවා.


                            නිමි.

           

                                  


        



          


        

            

Comments

  1. වටිනා අදහසක් 😊❤️

    ReplyDelete
  2. වටිනා අදහසක් 😊❤️

    ReplyDelete
  3. නියමයි..නොහිතපු පාරක අලුත් දිහාවක්

    ReplyDelete
  4. ලස්සනයි ❤️

    ReplyDelete
  5. අප්සරාවකට පෙම් බදින්නට අවසර දෙයිද කාෂ්‍යප

    ReplyDelete
  6. Godak ayata nopenena side ekak oya dakala tiyenne godak lassanai.it is different 😘

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

විජය හා කුවේණි කතා පුවතෙන් සමාජයට සන්නිවේදය කෙරෙන යථාර්ථය

ජනමාධ්‍ය විසින් ගිලගත් ළමා මනස

නව නළු රසය